Friday, April 27, 2012

ලන්ඩන් නයා





මම A/L කරලා ගෙදරට වෙලා කාලකන්නි වෙන කාලේ චැට් එකට ලන්ඩන් නයා සෙට් වුණා. ඒ දවස්වල ඔය නම හැදිලා තිබුණේ නෑ. මු මට චැට් එකේදී මට කියනවා " අඩෝ මම ලන්ඩන් ගියා higher education වලට, ආයේ එන්නේ pilot කෙනෙක් වෙලා තමයි  " කියලා. මම ගණන් ගත්තේ නෑ. මොකද ඕකත් අරිනවා ටොම්බ පොයි. ඒත් අපේ පොයියා තරම් ලස්සනට පොයි කෙලින්න බෑ. අතේ මාට්ටු වෙනවා. කෝකටත් කියලා profile එකේ බැලුවා. මේකා current city එකටත් ලොන්ඩන් කියලා දාලා. විශ්වාස කරන්නත් අමාරුයි.


කෝකටත් කියලා මම ඕක අපේ එවුන්ට කිව්වා. මේ සිද්දිය තව කීප දෙනෙක්ට ලන්ඩන් නයාම කියලා. අපේ එවුන් කියනවා " පිස්සුද යකෝ මම ඊයෙත් දැක්කා ඕකා පේපර් එක බාගෙට ලියලා කලින් ගෙදර යනවා " කියලා. මම බැලුවා මේකව ලන්ඩන් වලින් පන්නුවද දන්නේත් නැනේ. සමහරු නම් කිව්වේ " ඕකා airport එකක් නැතුවම නුවරට ප්ලේන් එකක් බායි" කියලා.


ලන්ඩන් නයාගේ ගෙදර තිබ්බේ ටවුන් එකෙමයි පයින් යන දුරින්. ඒ හින්දා පොයියා නම කිව්වේ " ඕකා ඔර්ලෝසු කනුව ලගින් යන බස් එකක 6 ටිකට් එකක් අරන් ලන්ඩන් යන්න ඇති" කියලා. එහෙම කියලා තමා ලන්ඩන් නයා කියලා නමත් දැම්මේ.


ලන්ඩන් නයා ඉස්කෝලේදී කරපු වැඩක් මතක් වුණා. අපි A/L කරන්න ගියපු ගමන්ම අපු ගුරු දිනයට, ගුරුවරුන්ට මොනවා හරි දෙමු කියලා කට්ටිය කථා වුණා. පන්ති නායක බටර් තමා මුලසුන. කට්ටිය දෙන්න හොද තෑගි යෝජනා කරනවා. 


ඒ දවස්වල අපිට අල්ලලාම ගියපු විෂය තමා physics. පන්ති භාර මැඩම් තමා ඕක කරේ. A/L කරන්න ගියපු ගමන් යාන්ත්‍ර විද්‍යාව හෙන පාඩමක්නේ. ඔය කාලේ තමා කප්පි ගණන් හැදුවේ. මැඩම්ගේ කටේම තියෙන්නේ කප්පි තමා. කප්පි ගණන් හදලම අපි කප්පි ඔස්තාර්ලා වෙලා හිටියේ.


ඔය හින්දා වෙන්න ඇති ලන්ඩන් නයා එක පාරටම නැගිටලා " මචං අපි අපේ මැඩම්ට කප්පියක් දෙමු " කිව්වේ. හරවත් සාකච්චාවක හිටපු බටර්ට මේ ගොන් කථාවට මල පැනලා ලන්ඩන් නයාගේ බෙල්ලෙන් අල්ල ගෙන ඇවිත් පයින් එකක් ගහලා දොරෙන් එළියට දැම්මේ " තෝ ඕන එකෙකුට කප්පියක් දී ගනින් " කියලා. ලැජ්ජාවක් නැති ලන්ඩන් නයාත් ඉස්කෝලේ වටේ දෙපාරක් ගිහින් ආපහු පංතියට අවේ අපේ මුවට හිනාවක් නංවමින්. 


මට මේ සිද්දි මතක් වුනේ ලගදි මට පොරව හම්බුන හින්දා. මම පොරගෙන් ඇහුවා " ආයේ ලන්ඩන් පැත්තේ එහෙම ගියේ නැද්ද? " කියලා. කින්ඩියට වගේ. මේකා කියනවා " අඩෝ මම කවදා හරි ලන්ඩන් යනවා " කියලා. අහේ හපොයි. ලන්ඩන් ඉවරයි......  





6 comments: