Monday, September 3, 2012

සිංදුවක්‌ අමතක උනොත්


මේකත් පොයියා Address නැති කරපු පංතියේ වුන වැඩක්. ඉස්සර ඉස්කෝලේ ගිය කලේ වගේම තමයි, ඉස්කෝලේ හිටපු ඔක්කොමයි, අනිත් ඉස්කෝලවල ඔක්කොමයි රිවිෂන් එකේ. ඒ හින්දා ෆන් එකේ ඉන්න පුළුවන් උනා. අපි නම් ඉදිරි පෙළ තමා ක්‍රීඩා කරේ. ඒත් පසු පෙළ තරම්ම ආතල් තිබ්බා. මොකද පොයියා ( තවත් වැඩර් කෙනෙක් ) හිටියේ අපිත් එක්කනේ.

මාත් එක්ක එකට රිවිෂන් ගියපු එකෙක් තමා මුට්ටියා. අපේ ගෙවල් පැත්තේ හිටියේ. ඒ හින්දා යන්නේ එන්නේ එකට. වෙලාවට වැඩ කිරීම නම් සුපිරි. මම හැමදාම විනාඩි 10කට වඩා ඉන්නවා හෝල්ට් එකට වෙලා ඕකා එනකල්. වැඩේ කියන්නේ පරක්කු වෙන හැමදාම මේකට කියන්න දෙයක් තියෙනවනේ.


ඔය කාලේම ගෙවල් පැත්තේ අපේ රිවිෂන් එකටම ආපු කෙල්ලෙක් මුට හිනා වෙලා. හෝල්ට්වල හිටන් ඉන්නයි, ඒකි යන බස්වල යන්නයි අපි මාර කට්ටක් කෑවේ. අපි නම් ඒකිට කිව්වේ පෙන්දී කියලා. ඒකි හැමදාම එනකොට කොන්ඩ කැරැල්ලක් මුණට දාගෙන එන්නේ. අපි දකින දකින සැරේ ඔකිගේ වැඩේම ඔය පෙන්ද අරගෙන කන අස්සේ ගහ ගන්න එක. මුට්ටියා බයිට් උනෙම ඔය පෙන්ද හින්දා තමා. මුට්ටියත් මෝඩයා වගේ අපේ කුණු කථා අහගෙන ඉන්නවා. පස්සේ ආරංචි උනා පෙන්දී කොල්ලෝ ගොඩකට ඔහොම හිනා වෙලා තියෙනවා කියලා. කොල්ලෝ අවුස්සන එක ඒකිගේ විනෝදාංශයලු. ඒ ආරංචියෙන් පස්සේ කොල්ලා අප්සට් ගහලා හිටියේ. ඒත් වැඩේ අත ඇරියේ නෑ. ඔය දවස්වලම පෙන්දිට බොක්කෙන්ම ට්‍රයි කරපු තව එකෙක් හිටියා.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා රිවිෂන් පන්තියේ අන්තිම දවසටත් ආවා. අන්තිම පැය කිහිපය ළමයිට සිංදු කියන්න වෙන් කරලා තිබ්බේ (නෑ.. නෑ.. ඒ සිංදු නෙවෙයි යකෝ.). කොල්ලෝ ස්ටේජ් එකට නැගලා සිංදු කියනවා ඉවරයක්‌ නෑ.  එක කෙල්ලෙක් නෑ ආසාවට. ඔය අතරේ පෙන්දිට ට්‍රයි කරපු කොල්ලත් " උණුහුම....." සිංදුව කිව්වා.

මේක මුට්ටියා බයිට් කරන්න හොදම වෙලාව කියලා හිතපු පොයියයි මමයි මුට්ටියා වට කර ගත්තා. " බලපන් යකෝ අරු නම් සිංදුවක් කියලා පෙන්දිගෙන් ලකුණු දා ගත්තා. තොත් සිංදුවක් වත් කියලා ලකුණු ටිකක් ද ගනින්.... නැත්තම් වස නෝන්ඩිය..."

කාගේ මෝඩකමද දන්නේ නෑ. මුට්ටි එක පාරටම සර්ට පෙන්න අත උස්සලා නැගිටලා ඉස්සරහට ගියා. අපි නම් හිතුවෙම මු අපිට විහිලු කරනවා කියලා, කවුද දන්නේ මුට මෙච්චර ගතක් එයි කියලා. මුට්ටි මයික් එකත් අල්ලන් ස්ටේජ් එකට නගින පඩිපෙළේ පඩි දෙකක් නැගලා සිංදුව කියන්න පටන් ගත්තා. කිව්වේ " මතු දාක කාසි නිසා....". මම දන්න කාලේ ඉදන් ඕකගේ කටේම තිබ්බේ ඔය සිංදුව තමා. මට නම් එපා වෙලා තිබ්බේ මුට්ටියා ඔය සිංදුව කියනවා අහලම. මෙච්චර වෙලා කෑගගහ හිටපු අපේ එවුන් සද්දයක් නෑ. ඒත් අනිත් එවුන් කෑගහනවා.

එක පාරටම මුට්ටියා සින්දුව නැවැත්තුවා. මල කෙලියයි මුට සිංදුවේ ඉතුරු ට්ක අමතක වෙලා. දස අතේ කල්පනා කරනවා. දිවා රෑ නොබලා මුමුණන සිංදුව මුට අමතක උන එකත් පුදුමයි. අපි කල්පනා කරේ මේකා ස්ටේජ් එකෙන් බැහැලා ආවා නම් නෝන්ඩියක් නෑ කියලා. ඒත් මේකා එන පාටක් නෑ. තප්පර 30ක් විතර මුට්ටි පඩිපෙළ උඩ සිංදුව මතක් කරනවා. එක පාරටම මුට සිංදුවේ ඉතුරු ටික මතක වෙලා කියන්න පටන් ගත්තා. අවුලක් නැතුව ඉවර වෙන කල්ම කියා ගත්තා යන්තන්. සිංදුව ඉවර කරලා " ස්තුතියි... මගදී සිංදුව අමතක උනා. එකට සමාවෙන්න .... " කියලා මුට්ටි බැහැලා ආවා. ස්ටේජ් එකෙන් මගදී බැහැලා ආවට වඩා ඒක නම්බුකාරයි කියලා අපිට පස්සේ තේරුණා.

අවුලක් නෑ වැඩේ ලස්සනට ගියා. ඒත් මුට්ටිට අප්සෙට්. ටිකකින් මුටම අවුල් කියලා හිතිලද කොහේදෝ " අපි දැන් ගියොත් හොදයි නේද බං ? " කියලා බැග් එක අතට ගත්තා. මොනවා කරන්නද අපිත් මේවට වග කියන්න එපයිනේ. ඉතින් ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් මුට්ටියි, මමයි නැගිටලා ආවා.

එලියට යන්න ආවට යන්න විදිහක් නෑ. ළමයි පොළින් ගැහිලා සර්ට වදිනවා. අන්තිම දවසනේ. එලියට යන්න ඕනේ නම් පෝලිමේ ඉන්න වෙනවා. හෝල් එකේ මැද අපි පෝලිමේ හිටගෙන. හෝල් එකේ ඔක්කොටම පේනවා. එහා පැත්තෙන් කෙල්ලොන්ගේ පොලිමකුත් හැදෙනවා. මුට්ටියා දිහා කට්ටිය නොන්ජලේට වගේ බලනවා අපිට දැනුනා. පෝලිමේ හිටියොත් අගුරු වෙන්නම කර වෙන්න වෙනවා. මෙච්චර කලි ඉගෙන ගත්ත භෞතික විද්‍යා දැනුමයි ස්ථානෝචිත මෙව්වා එකයි දාලා බංකු උඩින් ගිහින් බැම්මෙන් පැනලා එලියට යන්න අපි තීරණය කරා. හොද නරක හිතන්න වෙලාවක් නෑ. අපි සැලසුම ක්‍රියාත්මක කරා.

එලියට ආවා විතරයි පොයියා කෝල් කරනවා. " හිටපන් යකෝ අපිත් එනවා." බලනකොට කොල්ලෝ සෙට් එකක් අපේ තියරිය භාවිතා කරමින් හෝල් එකෙන් එලියට එනවා. සර්ට වදින්න හිටියොත් අපේ රෙදි ගැලවෙයි කියලා හිතලා අපි සර්ට වදින එක පස්සට කල් දාලා ගෙදර එන්න ආවා. බස් තොර තොර ඉන්න අපි එදා ආපු පලමු බස් එකේම නැගලා වෙනදාටත් වඩා කලින් ගෙදර ආවා.