Friday, May 24, 2013

විද්‍යා පොළ





උසස් පෙළ කරන කාලේ අයිස් ගහන්න සෙට් වෙන හොදම වැඩේ තමා මොකක් හරි ඩේ එකකට සම්බන්ද වෙන එක. කට්ටිය 13 වසරට යනකල් බලන් ඉන්නවා ඩේ එකක් කරන්න. අපිත් අයියලාගේ අඩි පාරේ යමින් පවිත්‍ර පිවිතුරු  සිතින් ඩේ එකක් කරන්න ලෑස්ති වුණා.

මොනවා හරි කරලා අයිස් පාරක් ගහන්නනේ ඕනේ. ඒ හින්දා කට්ටියම විද්‍යා පොළක් කරන්න ලෑස්ති වුණා. 


සාමානයෙන් ඩේ එකක් අපේ එවුන්ගේ ටැලන්ට් ෂෝ එකක් කර ගන්නවනේ. ඒත් මේ විකාරේ එහෙම කරන්න බෑ. යොදා ගන්න පුළුවන් ස්වාභාවික සංගීතේ විත‍රයි. ඒ වගේම කියන්න ඕනේ විද්‍යාවට සම්බන්ධ ගීත. ඔය නීති හින්දා අපේ කට්ටිය අවුලෙන් හිටියේ. මොනවා කරන්නද මොනවා හරි කරන්න ඕනේ හින්දා කට්ටිය වැඩේට සෙට් වුණා.


හැම නිතියකටම හරියන්න කරන්න තියන වැඩේ තමා තියන සින්දුවක් විකෘර්ති කරන එක. ඒ වැඩේ පොයියා ඇතුළු පිරිස බාර ගත්තා. ඕක ඉතින් කලින් නොකරපු වැඩක්ද? අමාරු වැඩකට තියෙන්නේ හැමෝටම අහන්න පුළුවන් වචන ටිකක් දාන එක තමා. දවසකින් විතර කට්ටිය රම්බරි සින්දුවේ වචන මාරු කරලා අපිට හරියන සින්දුවක් හදා ගත්තා. වැඩේට ගැළපෙනම සින්දුව. ඩේස්වලට තට්ටුවක් දාගෙන රියසල් කරද්දී පොඩි රෙකෝඩ් පාරක් දාගත්තා බුදු ගේමක් දීලා.








ප.ලි.

කොච්චර මහන්සි වෙලා වැඩ කරත් මේ මගුල තිබ්බේ නෑනේ. අපරාදේ අපේ මහන්සිය. අන්තිමට අපිට ඩේ එකකුත් නැති වුණා නොදන්න මගුල් කරන්න ගිහින්. ඉතුරු වුනේ විකෘර්ති කරපු සින්දුවක් විතරයි. 



http://www.lascifair.org/site-coordinators/site-coordinators/

Tuesday, March 5, 2013

බෝ කොළ තට්ටයා


පාසලේ ඉගෙනගත් සුන්දර කාලය නිමා විය. උසස් පෙළ විභාගය සදහා ඇඩ්මිෂන් දෙන දිනය උදා විය. ප්‍රධාන ශාලාවේ ඒ සදහා උත්සවයකි. ගුරුවරු මෙන්ම දෙමාපියන්ද එයට සහභාගී විය. නිල වශයෙන් පාසල් යන අවසන් දිනය  බැවින් වෛර පිරිමැසීම්, ගත යුතුව තිබු පලි සියල්ල ගත යුතුව තිබිණි.

උදේ සිට පැවති ආගමිකවතාවත් වලට හා ගුරුවරුන්ගේ අනුසාසනා අහවර වන විට දොළහත් පසු වී තිබුණි. මේ අටමගුල නිම වන පාටක් නැත. අහෝ අපිට පාඩම් කිරීමට ඇති කාලය (අනේද කියන්නේ :පී). බඩගින්නක්ද ඇත. ඊට හපන් පැය ගානක් ඉදන් සිටීමෙන් ඇති අමාරුව. වැඩසටහන නිමා කිරීමටද කොහේදෝ බෝ කොළ තට්ටයා වේදිකාවට ගොඩ විය.

බෝ කොලයක් වැනි තට්ටයක් ඇති බැවින් අළුතින් පැමිණි රසායන විද්‍යා ගුරුවරයා බෝ කොළ තට්ටයා නමින් හදුන්වයි. අළුතින් පැමිණියද හැසිරෙන්නේ පාසලේ අයිතිකාරයා මෙනි. අඩියක් පමණ ඉහලින් ගමන් කරන ඔහු කතා කරන්නේ හිට්ලර් මෙනි. ක්‍රියා කලාපයද එලෙසමය. මේ නිසා කාටත් මේ ගුරුවරයා දිරවන්නේ නැත.


පටන් ගත් ස්තුති කතාව නිමවන පාටක් නැත. ස්තුති කතාව නිම කර ගැනීමට දැඩි අවශ්‍යතාවක් ඇත. එක පාරටම කට්ටිය අත්පුඩි ගසන්නට පටන් ගත්හ. ඒ කෙසේ හෝ මෙලෝ රහක් නැති කතාව නිම කර ගැනීමටය. සර් සෙකන්ඩ් වීමට කැමති නැති පාටයි. තරහා මැඩගෙන දිගටම කතා කරයි. අපේ එවුන්ද වැඩේ අත අරින්නේ නැත. එන්න එන්නම සද්දය වැඩි වෙයි. ඊලග විනාඩියේ කෙසේ හෝ වචන ගලපා සර් කතාව නිම කර ගැනීමට හැකි විය.

ගුරුවරුන් හා දෙමාපියන් ඉදිරියේ බෝ කොළ තට්ටයා මෙලෙස අපහසුවට පත් කිරිමට හැකි වීම අප ලද ජයග්‍රහණයක් යැයි එකල අපි සිතුවෙමු.

පා.ලි.
හොද වෙලාවට එදා පාසල් ගිය අවසන් දිනය විය. නැතිනම් පංති කාමරයේදී කල දේට බෝ කොළ තට්ටයා  අපෙන් පලිය ගනු ඇත.


http://www.battleagainstbald.com/battle_against_bald/2009/07/index.html

Wednesday, January 2, 2013

පාසලකට සැබවින්ම ආදරය කරන්නවුන්..



   ඉස්කෝලේ ගිය අන්තිම කාලේ ඉස්කෝලෙට වෙලාවට ගියේම නෑ. ඒ කාලේ සීසන් එක කියලා එකක් තිබ්බා. ඒ හින්දා CTB බස් එකක් එනකල් හෝල්ට් එකට වෙලා බලාගෙන ඉන්නවා. උදේ පාන්දර ගිහින් අපේ එවුන් බෝල ගහන දිහයි, සින්දු කියන දිහයි බලන් ඉදලා මානසිකව වැටෙනවට වඩා හොදයි දෙන කීය කීය හරි ඉතුරු කර ගෙන CTB බස් එකක එන එක. ඉස්කෝලෙට වෙලාවට යන්න පුළුවන් බස් එනවා. හැබැයි පට්ට සෙනගක් ඉන්නේ. නැත්තම් පාරෙන් එහා පැත්තට ගිහින් අත දාන්න ඕනේ නවත්ත ගන්න. තව විකල්පයක් තිබ්බා. කවුරු හරි ගැනු පරානයක් අත දැම්මා නම් හරි. එහෙම අත දාන්නවත් කෙල්ලෙක් ඉතුරු වෙන්නේ නෑ, බාලිකා පාසල් සේවා බස් 3ක් 4ක් තියන හින්දා. අපිට කියලා තිබ්බෙත් එක බස් එකයි. එකෙත් යන්න පුළුවන් දවසට යන්නේ නෑ කලින් ඉස්කෝලේ යන්න වෙන හින්දා.

   බස් එනකල් හෝල්ට් එකේ ඉන්න කොට මාත් එක්ක ඉන්නවා අපේ ඉස්කෝලෙම පොඩි එවුන් දෙතුන් දෙනෙක්. උනුත් අපි වගේමයි. මුන්ට කට කැඩෙනකල් කියලා තියෙනවා කලින් ඉස්කෝලෙට පලයල්ලා, ගිහින් හොදට ඉගෙන ගනින් අපි වගේ කියලා. මුන් කනකට ගන්නේ නෑ.

හත, හතයි කාල වෙනකොට බස් පෝලිමක් එන්න පටන් ගන්නවා. සෙනගත් නෑ, බොක් එකකතුත් නෑ, පාඩුවේ යන්න පුළුවන්. 7.35ට කලින් ටවුන් එකට යන්න පුළුවන්. 7.45ට කලින් ඉස්කෝලෙට ගියොත් උදේ තියන හැම මගුලක්ම ඉවර වෙනකල් ගේට්ටුවෙන් එලියට වෙලා ඉන්න වෙනවා. එහෙම උනොත් මහජනතාවට චාටර් වෙනවා. ඔය මගුල් ටික ඉවර වෙලා ගියොත් කෙලින්ම ඇතුලට යන්න පුළුවන් නම ලියා ගෙනම. නම ලියා ගත්තට අවුලක් වෙන්නේ නැ. ඒත් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම තමා කෙල වෙන්නේ. බොරු මතක් වෙන්නෙත් නැ.

   පරක්කු වෙන සෙට් එකේ හිටියා පුඩිමා කියලා එකෙක්. පොරට බොරුවක් තාත්විකව කියා ගන්න පුළුවන්. අතර මගදී පොරට බොරුවක් කියලා දීලා ඉස්සරහින් යවනවා. පොර එතන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට සාර්ථකව මුහුණ දීලා අම්බානක බැනුම් අහනවා. ගොඩක් වෙලාවට කියන්නේ කොහේ හරි ඩොටේ පැත්තක ඉන්නේ කියලා, එක බස් එකයි තියෙන්නේ කියලා, ඕක මගදී කැඩුනා කියන්න එක. තව පයින් ආපු සින් ටිකකුත් සෙට් කරාම වැඩේ ගොඩ. ඔය මොනවා කිව්වත් මැඩම් දන්නවා මුන් අත අරින්නේ ටෝම්බ් නයෙක් කියලා. ඒත් නිර්මාණශිලිත්වයට පොඩි සමාවක් හම්බෙනවා.


   පුඩිමා අම්බානක අහගන්නවා කියන්නේ අපි ගොඩ. "මැඩම් අපි ආවෙත් ඒ බස් එකේ තමා" කිව්වහම ආයෙත් රෙකෝඩ් එක රිපීට් කරන්න බැරි හින්දා නම ලියාගෙන එලවනවා. අවුලක් නෑ කියන්නේ බොරු නම්නේ.


  එතනින් බේරුනාට අපේ ශිෂ්‍ය නායක අයියලාගෙන් බේරෙන්න අමාරුයි. මට අවුලක් නැ. අපේ එවුන්මනේ ඉන්නේ. මග දිගට මට කණක් ඇහෙන්න නෑ "අනේ බුදු අයියේ මාවත් බේර ගනින්" කියලා. දවසක් දෙකක් බේරලා යැවුවා. ඒත් හැමදාම කරන්න බැනේ ඕක. කලින් ඉස්කෝලේ පලයල්ලා කිව්වට අහනෙත් නැනේ. ඕන මගුලක් කර ගනිල්ලා කියලා, "මුන්ගෙන් හොදට වැඩ ගනිල්ලා" කියා ගෙනම මම යන්නේ. 

   ඒත් මුන් හැදෙන්නේ නැ. පරක්කු වෙලා ඇවිත් කොරිඩෝ අතු ගානවා, මිදුල් අතු ගානවා, කුණු අදිනවා, වල් ගලවනවා, මල් වලට වතුර දානවා. ගෙවල්වල කොස්සක් ඉදලක් අල්ලන් නැති එවුන්නේ. පුදුම ආදරයක් තියෙන්නේ ඉස්කෝලෙට. 


   මට හිතුණේ අපිට වඩා මුන් කොච්චර ඉස්කෝලෙට ආදරෙයිද කියලා. 

http://qflf.wordpress.com/2011/05/17/clean-sweep/

  


Sunday, November 11, 2012

කුඩයක් තියෙනවද බං?


මේ දවස්වල වහින හින්දා පන්තියේ එවුන් කුඩෙට කරපු කුජිත වැඩ ටිකක් මතක් උනා. A/L පන්තියේදී ෆ්‍රී පීරියඩ් එකක් හම්බුන ගමන් අපේ එවුන්ගේ වැඩේ ක්‍රිකට් ගහනවා නැත්නම් සිංදු කියනවා. ඔය අතරේ දෙතුන් දෙනෙක් කනේ පුළුන් ගහගෙන පාඩම කරනවා. ඕකුන් හින්දා තමා හදිස්සියකට එකෙක් හොම්බ ඇනගත්තොත් බෙහෙත් දාන්න තිබ්බ පුළුන් ටික ඉවර උනේ. අයියෝ සල්ලි....

ඔය අතරේ කවදාවත් නැතුව පොයියා පැත්තකට වෙලා කඩදාසියක් අරන් කැලි වලට ඉරනවා කාටත් හොරෙන්. කවුරුත් ගනන් ගත්තෙත් නෑ. කෙළිදෙලෙන් කාලය ගත වෙලා ඉස්කෝලේ අරින වෙලාවත් ආවා.   වැස්සත් පටන් ගත්තා ඒත් එක්කම. ඉස්කෝලේ යද්දී කුඩයක් ගෙනියනවා ඒ හින්දා හිතට බයක් නෑ. ගේට්ටුවෙන් එලියට ඇවිත් ගත්තා කුඩේ එලියට. ඉහලන්න හදනකොට ඇතුලේ තිබිලා කොළ කැලි ටිකක් බිම වැටුනා. දැන්නේ වැඩේ මීටර් උනේ. පොයියා ළග ඉන්න එකා කියලා නෑ මටම වැඩේ දීලනේ. වට පිට බලලා හෙමිට බිත්තිය අයිනට කරලා කුඩේ ඉහිලුවා. සල බල ගාලා කොළ කැලි ටික බිම. යන්තම් නින්ඩියෙන් බේරුණා. ගත්ත ගමන් ඉහිලුවා නම් දෙනෝදාහක් මැද මගේ රෙදි ගැලෙවෙනවා.

පහුවදා ආරංචි උනා තව එකෙක් කුඩේ ඉහලලා නොන්ඩි වෙලා කියලා. පොයියා දීලා තියෙන්නේ ඩබල් ගේමක් වගේ. පව් අරු අසරණයා, කිසි හිරිකිතයක් නැතුව ටවුන් ඒක මැද්දෙම කුඩේ දිග ඇරලා. 



තව දවසක් අම්බානක වහිනවා. කුඩේකුත් නෑ. හිමිට පොයියා ළගට කිට්ටු උනා.

" අඩෝ කුඩයක් තියෙනවද? "

" ආ පාට කුඩයක් තියෙනවා දෙන්නද? "

" ආපෝ එපා උබම තියා ගනින්... මම තෙමි තෙමි යන්නම්... "


http://www.toxel.com/tech/2011/02/02/unusual-and-creative-umbrellas/

Tuesday, October 2, 2012

පුසෙක් ගුරුවරියකට කල හදියක්

ඉස්සර අපේ ඉස්කෝලෙට හවස් යාමේ කොහෙදෝ ඉදලා කාලකන්නි පුසෙක් එනවා. උදේට මේකා හොයා ගන්නත් නෑ. සමහර දවස්වල උදේ පාන්දර එන හැම එකගේම සිත කුල්මත් කරන දර්ශනය පුසාගේ බොක ගොඩ. සමාන්‍යයෙන් පුසෙක් ඔය වැඩේ කරන්නේ වලක් හරලා පිලිවෙලටනේ. මේ නැහැදිච්චි පුසා, පුස් ආචාර ධර්ම අමු අමුවේ උල්ලංගනය කරලා කිසිම හිරිකිතයක් නැතුව උඩ තට්ටුවේ කොරිඩෝවේම දාලා යනවා. උදේ පාන්දර ඕක දකින එවුන් පුසාගේ දේවාලය මහන්න හිතාගෙන තමා පන්තියට එන්නේ.

මොකෙක් හරි වාසනාවන්තයෙක්ට ඕක අයින් කරන්න වෙනවා. සමහර දවස්වල මොකෙක් හරි අල්ල ගන්න බැරි උනොත් මම යන වෙලාවටත් ඕක තියෙනවා බැබලි බැබලි. චික් දවසම ඉවරයි. 

දවසක් දොරත් එකක්ම තියෙන වංගුවක අපේ පුසා අපිට තෑග්ගක් තියලා ගිහින්. ඕක අයින් කරන්න වගකිය යුත්තන්ට එකෙක් හොයා ගන්න බැරි වෙලා. අපි ලැබ් එකට යන්න එලියට බැහැලා හිටියේ. කෙමෙස්ට්‍රි මැඩම් දොරෙන් ඇවිත් වංගුව ළගින් කපලා ගත්තා, කකුලක් බොක ගොඩේ. ඈක්කා...

මැඩම් මුණත් ඇඹුල් කරගෙන නොන්ඩි ගගහා පහළ ටැප් එකට ගිහින් පුසට බැන බැන කකුල හොද ගත්තා. මොනවා කරන්නද? කවුරුත් දැක්කේ නැත්තම් ෂේප් එකේ අයිනක පිහිදාගන්න තිබ්බා. අපේ එවුන් කරනවා වගේ. කට්ටියම සීන් එක දැක්කේ නෑ වගේ ලැබ් එකට දුවගෙන ඇවිත් මුල්ලක් අල්ලන් බඩ අල්ලගෙන හිනා වෙනවා.

ඔය අතරේ වක්කඩයක් වගේ කටක් තියෙන පොයියා සීන් එක දැක්කේ නැති එවුන්ට රංගනයත් සමග කතාව කියනවා....

ඊට පස්සේ මැඩම්ව දකින හැම වෙලාවකම  පොයියා " ආපෝ... අර මැඩම් තමා එදා පුස් බොක පාගගෙන ඉස්කෝලේ වටේ ගාගා ගියේ..." කියලා කියන්න අමතක කරන්නේ නෑ.

http://www.felinest.com/famous-cartoon-cats/