Wednesday, August 1, 2012

සිල් ගැනීම..



පාසලේ සිල් ගත් අයුරු අපේ සිලේ මැයෙන් පසුගිය වෙසක් මස පල විය. මෙම පොහෝ දිනද ලියන්නට යන්නේ සිල් ගෙන කල අජුත වැඩ පිළිබදවය.


පාසලේ සිල් ගැනීමේදී සරම අනිවාර්ය වේ. වැස්සකටවත් දහම් පාසලකට ගොඩ වී නැති සමහරුන්ට සුදු සරමක් නැත. ඔවුන් එදිනටද සුදු කලිසමෙන් සිල් ගනිති. එහෙත් සරමක් ඇද සිල් ගන්නා විට ආතල් එකක්ද ඇත. අපට සුදු සරම් තිබුනද අදින්නේ අකලටය. දහම් පාසල් අන්දේද නොඇද බැරි තැනය. දහම් පාසල් ගමන නැවතුන පසු සරම අදින්නට වුයේ අවුරුද්දට එක් වරක් පමණි. ඒ පාසලේ සිල් ගන්නා දිනයේය. අවුරුද්දක් පුරා සගවා තැබූ සුදු සරම එදිනට සොයා ගන්නේ බොහොම අමාරුවෙනි.


සිල් ගන්නා දිනයේ සුදු දිග කලිසම උඩින් සුදු සරම අපේ පුරුද්දය. එය ශරීර සෞඛ්‍යට හොදය. නැතහොත් නිසැකෙන්ම එකෙක් සරමේ එල්ලී සරම කඩා දමනු ඇත. එවිට විලි ලැජ්ජාවකි. එම නිසා සුදු කලිසමට උඩින් සරම ඇද කලිසමේ කකුල් තුන්කාලක් වන තෙක් නැමීම හොදය. ඒවිට වෙනසක්ද නොපෙනේ. කලිසමක් ඇද තිබේදැයි බැලීමට සරම ඉස්සිය යුතුය. එවන් අවස්ථාද එදීනට පන්තියේ සුලභය. තවද එදින බිම ඉද ගන්නා නිසා සුදු කලිසමේ මඩ ගෑ වීමෙන් ආරක්ෂා කර ගැනීමටද සරම යොදා ගත්හ. සුදු දිග කලිසම් ඇදීමට පටන් ගත් මුල් කාලයේ මඩෙන් දුවිල්ලෙන් කලිසම බේරා ගැනීම අසීරු කාර්යයකි. බස් රථයේදී කලිසම පාගන විට යකා නැගී. එකල පංතියේ එකාලා හවස් වනවිට රට හුණු අතුල්ලා කලිසමේ මඩ පහරවල් මකා ගත් ආකාරය මට හොදින් මතකය. පසුව අපි ඒ දේවල් සදහා හුරු වුනෙමු. කෙසේ වෙතත් සිල් ගන්නා දිනයේ එවන් කරදර අඩුය.


යටින් කලිසමක් ඇද සිටියත් බෙල්ට් එකක් දැමීමට අපි අමතක නොකෙළෙමු. නටන නැටුම්වලට සරමට යොදන ගැටය වැඩි වෙලාවක් රදා පැවතියොත් එය පුදුමයකි. අවුරුද්දට වරක් අදින සරමට හරිහමන් ගැටයක් දීමටද අපි නොදන්නෙමු,


සිල් ගන්නා දිනයේ සරමෙන් කල විකාර රැසකි. සමහරුන් බෝට්ටු පදි, තවකෙක් සරම කරට ගෙන ඩාන්ස් කරයි, තවකෙක් සරමෙන් බුතයා පාරක ගසයි. එක විකාරයකි. යටින් සුදු කලිසම තියෙන තෙක් ලැජ්ජාවක් නැත. කොහොමත් අපේ එවුන්ට ලැජ්ජාවක් නැත. අවසන් වරට සිල් ගත් දිනයේ ගත් සරම් ඩාන්ස් වීඩියෝවක් පහත ඇත.




11 වසරේ සිල් ගත් දිනයේ හාමුදුරුවෝ බණට වැදෑරු කරුණක් මතක් විය. අපත් සමග සිල් ගෙන සිටි පන්ති භාර ගුරුතුමා එලියට ගිය පසු හාමුදුරුවෝ " බලන්න මල්ලිලා අර ඔර්ලෝසු කනුව ළග පඩිපෙළේ, පඩිපෙළ බහිනවා ගෑණු ළමයි කොටට ඇදගෙන, පහළ ඉන්න අපිට මොනවද නොහිතෙන්නේ?? " කියා වැදෑරූවා මතකය.


ප.ලි. අනාගතයේ සිල් ගැනීමට සිටින උපාසකයන් මේවා ආදර්ශයට නොගන්නා මෙන් ඉල්ලා සිටිමි.


ප.ප.ලි. අප 10 වසරේ සිටින කල සිංහල ගුරුතුමා නිවසට සරම් අදින අය විමසු විට එකෙක් වත් නොවිය. එවිට එතුමා පැවසුවේ ඕවා අනාගතයට තමා බලපාන්නේ කියාය. එසේ පැවසුවේ කිමදැයි මම තවම සිතමි.

Tuesday, July 10, 2012

මස් කට්ටා...


O/L කරන කාලේ මට එහා පැත්තේ හිටියේ හයේ හතරේ පොරක්. පන්තියේ එවුන් පොරට කිව්වේ ඌරා කියලා. වැඩ කිඩ වල හැටියට නම දාලා තිබ්බේ. ඔය කාලෙම තමා රොබින්සන් අන්දරය ගියේ. එකේ හිටපු ඌරාගේ නම බානබස්නේ. ඒ හින්දා පොරටත් බානබස් කියන්න පුරුදු උනා. කවදාවත් පොරට ඇහෙන්න ඔය නම් එකක්වත් නොකියන්න අපේ එවුන් වග බලා ගත්තා. කවුරුත් කැමති නැනේ නිකන් බොරුවට අත පය කඩා ගන්න. බනා මැරයෙක් නෙවෙයි, ඒත් චන්ඩියෙක්. කවුරුත් ඌට බයයි. වචනයක් වත් කියන නෑ පොරට විරුද්ධව. මට එහා පැත්තේ හිටපු හින්දා මටත් එකෙක්වත් මොකුත් කියන නෑ. ඒ හින්දා මට බයක් සැකක් නැතුව හිටියා. පන්තියේ එවුන් " හිටන්කෝ බනා ආපු නැති දවසක තෝව අල්ල ගන්නම් " කියලා කීප සැරයක්ම කියලා තියෙනවා.

අපේ පෝලිමට ඉස්සරහ පෝලිමේ හිටියා මස් කට්ටා නොහොත් චුටි කුකු. ඔය නම හැදුන හැටි සුන්දරයි. සුන්දරයි කිව්වට පැත්තම ගද ගහන කුණු කතාවක්. ඕකා ජිවිතේටවත් බැග් ඒක අස් කරන එකෙක් නෙවෙයි. වට පිටාවේ ඉන්න එවුන් ගැන අපි දන්නවානේ. 

දවසක් ඉන්ටවල් එකේ බනා මස් කට්ටක් සුප්පු කර කර ඉන්නවා. චුටි කුකු එලියට යනකල් ඉදලා " මේකා මෙහෙමවත් හදා ගන්න ඕනේ " කියලා බනා සුප්පු කර කර හිටපු මස් කට්ට අරුගේ බැග් එකට දැම්මා. පන්තියේ හිටපු එවුන් මොකුත් ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ වගේ හිටියා. කවුරුත් කට හොල්ලන් නෑ. දන්නවනේ බනා හැටි. අකාලේ තරුණ ජිවිතයක් වල පල්ලට යවා ගන්න ඕනේ නෑනේ බානබස්ට කියලා.

දවස දෙක තුනක් ගියා. කිසිම ප්‍රතිචාරයක් නෑ. බැරිම තැන බනා පොරට කරපු වැඩේ කිව්වා. ඊට පස්සේ තමා මේකා බැග් ඒක අදින්න පටන් ගත්තේ. මෙහෙමත් එකෙක්. මාසයක් ගියත් ඔය ටිකම තමා. බොහොම අමාරුවෙන් හොයලා හොයලා මස් කට්ට එලියට ගත්තා. ඉතුරු ටික ඕනේ නෑනේ. මටත් අප්පිරියයි වගේ. මේකා බනාට බනිනවා පලු යන්න. අපිට හිනා. ඊට පස්සේ තමා මස් කට්ටා කියලා නම හැදුනේ. ඊට අමතරව චුටි කුකු කියන්නත් පටන් ගත්තා.

මට මේ සිද්දිය මතක් උනේ මස් කට්ටා මේ බ්ලොග් එක කියවන ගමන් SMS එවපු හින්දා. පොර මෙහෙම වැඩත් වෙනවා පොස්ට් එක කියවන ගමන් මට SMS එවනවා. 

මස් කට්ටා - මචෝ මේ චැට් සීන් එක ඇත්තටම උන දෙයක්ද බං...

මම -  ඕව් යකෝ... ඇයි ??

මස් කට්ටා - නෑ බං. ඕකි මටත් ඔය වැඩේම කරානේ. වැඩේ කියන්නේ මගේ අතින් කුණු හරප ටිකක් කිය උනනානේ බං. මොනවා හිතුවද දන්නේ නෑ...

මම - ඔහේ පලයන්.... මොනවා හිතන්නද බං.... මෙහෙමත් ගැනු.....




Friday, June 15, 2012

කියන දේ හරියට අහගනින්...



   මම 6 වසරට අලුත් ඉස්කෝලෙට ගියපු දවසේ මට ගොඩක් උදවු කරපු එකෙක් තමා මාළු කට්ටා. මාළු කට්ටා හිටපු පේලියේ ඩේස් 3 තිබ්බේ. ඔකේ මාළු කට්ටි, හොක්කයි, දස කුට්ටයි තමා හිටියේ.  මම අලුත් පංතියට ගිය දවසේ පංතියේ වැඩිපුර පුටු තිබ්බේ නෑ. මාළු කට්ටා තමා ඉස්කෝලේ වටේම ඇවිදලා මට පුටුවක් හොයන් ආවේ. ඒ විතරක් නෙවෙයි මුන් තුන්දෙනා මාව උන්ගේ පොලිමටත් ගත්තා.


   අපේ පංතියට එහා පැත්තේ තවත් පංති කාමරයක් තිබ්බා. එකේ තමා අපේ ඉංග්‍රීසි මැඩම් උගන්නන්නේ. මැඩම් හොදයි ඒත් වසයි. මැඩම් ඉස්කෝලේ එන්නේ කාර් එකේ. ඔය පංති කාමරය අතු ගාන්න එක එක පංතිවලට බාර දීලා තමා තිබ්බේ. ඒත් සමහර දවස්වලට අයියලා අතු ගාන්න එන්නේ නෑ. එහෙම දවසට අපිට තමා අතු ගාන්න සෙට් වෙන්නේ.


   ඒ කාලේ මම 6.30 විතර වෙද්දී ඉස්කෝලෙට යනවා. ලොකු පංතිවලට යන්න යන්න තමා පරක්කු වෙලා ඉස්කෝලේ යන්නේ. උදේම ගියාට කරන්න වැඩකුත් නෑ. ඉස්කෝලේ පටන් ගන්නෙත් 8 නේ. ඒ හින්ද අතු ගාන්න සෙට් උනොත් අතු ගානවා. නියම වැඩේ කියන්නේ එහෙම අතු ගාපු දවසට මැඩම් අපිට රෝල්ස්, හැලප වගේ දේවල් අරන් දෙනවා. ඒ හින්දා අතු ගාන්න සෙට් උනොත් අත අරින්නෙම නෑ.

   දවසක් ඉංග්‍රීසි මැඩම් මාළු කට්ටාට යතුරක් දීලා මොනවදෝ කියලා. මාළු කට්ටා " වරෙන්කෝ මචෝ.." කියලා මාවත් ඇදගෙන මැඩම්ගේ කාර් එක ගාවට ගියා. මු කාර් එකේ දොර ඇරලා, යතුර මැඩම්ගේ බෑග්‍ එකට දාලා, දොර වැහුවා. මේකා දොර ලොක් කරේ නැනේ. වැඩි ආරක්ෂාවට මොකෙක් හරි රින්ගුවොත් කියලා මම දොර ආයෙත් ඇරලා ලොක් එක දාලම දොර වැහුවා.




   මාළු කට්ටා විරයා වගේ ගිහින් කාර්ය සාර්ථකව නිම කල බව ලොකු තැනට වාර්තා තරා. මෙන්න මැඩම් එනවා කඩාගෙන බිදගෙන. ඇවිත් කාර් එක වටේ දුවනවා දෙරවල් අරින්න හදනවා. එක විකාරයයි. ඒත් ඔක්කොම දෙරවල් ලොක් කරලා.


   මල මගුලයි මාළු කට්ටා කාර් එකේ යතුරනේ මැඩම්ගේ බැග් එකට දාලා තියෙන්නේ. දෙන්නම අම්බානක බය වෙලා හිටියේ. ඒ මදිවට පන්තියේ එවුනුත් වට කරගෙන බය කරනවා. මැඩම් ෆෝන් ඒකෙන කාටදෝ කතා කරා. දැන් අපේ වාරේ කන පැලෙන්න අහගන්න වෙයි. කඩ්ඩෙන් බැන්නොත් ගොඩ. මෙලෝ දෙයක් තේරෙන්නේ නැනේ.


   ෂුවර් එකටම මැඩම් මාළු කට්ටට කඩ්ඩෙන් කියන්න ඇත්තේ. මේ මැටි පුතාට ඒක තේරිලා නෑ. මොනවා උනත් මැඩම් අපිට වචනයක්වත් කිව්වේ නෑ. මේ මෝඩයෝ දෙන්නට කියලා වැඩක් නෑ කියලා හිතෙන්න ඇති.


   මට නම් තේරුන හැටියට මගේ අතේ වැරද්දක් නෑ. මාළු කට්ටා කරන්න ඕන දේ හරියට අහගෙන නැනේ. බලනකොට මැඩම් කියලා තියෙන්නේ කාර් එකේ තියෙන බැග්‍ ඒක අරගෙන එන්න කියලානේ.




http://blog.autoroadservice.com/public/item/use-your-phone-to-unlock-your-car-door





Friday, June 1, 2012

ඉස්කුල් බස් එක මිස් උනාද?


මේ අපේ මලියට වුන තවත් වැදගත් සිද්දියක්. මලියටයි DJටයි ( තවත් වැඩර් කෙනෙක්. )ඉන්නේ එකම පැත්තේ. ඒ හින්දා මුන් දෙන්නා යන්නේ එන්නේ එකටමයි. මුන් දෙන්නම A/L කරන්න තමා අපේ ඉස්කෝලෙට ආවේ. ඉස්කෝලෙට අලුතින් ආපු අනිත් හැම එකෙකුගෙන්ම අපි බිස්කට් කැවා. ඒත් මුන් දෙන්නා බිස්කට් ගෙනාවේ නෑ.

දවසක් DJ එනවා මාර සතුටකින් ඇවිත් කියනවා " වරෙන්කො මචෝ අද මරු සීන් එකක් උනා.... අහපන්කෝ කථාව " කියලා. මලියයි අපේ සෙට් එකයි වට වුණා උදේ පාන්දර මුගේ රස කතාව අහන්න. DJ කථාව පටන් ගත්තා.
" අද උදේ මලියයි මායි බස් එකට නැන්ගා. මලියා කෙල්ලෙක් ගාව ඉද ගත්තා. මම ඊට පස්ස සිට් එකේ ඉද ගත්තා. හරිද බං?

ටිකකින් මු අර කෙල්ලගේ මුණ දිහා බැලුවා. මට සීන් එක හොදට පේනවා පස්සට. ටිකකින් මේකා අරකිගෙන් ඇහුවනේ "අද ඉස්කුල් බස් එක මිස් උනාද?" කියලා. ඒකි මුගේ මුණ දිහා හොදට බලලා ගස්සලා අහක බලා ගත්තා. චා සීන් එක බං...

ඊට පස්සේ තමා මරු සීන් එක උනේ.... ටික දුරක් ගියාට පස්සේ මලියා හෙමිට පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවා. ෂුවර් එකටම මු බලන්න ඇත්තේ මම සීන් එක දැක්කද කියලා බලන්න. මම සීන් එක දැක්කේ නෑ වගේ හිටියා."

මම මලියා දිහා බැලුවා. මුණ රතු වෙලා. වස ලැජ්ජවනේ. මේ නෝන්ඩිය ඉවසන් ඉන්න බැරුව මලියා කථාව පටන් ගත්තා.

" ඕව් බං ඒ වේසි මාව කැවා. ඉස්සර දහම් පාසලේ කෙල්ලෙක් හින්දා කථා කරේ. බලපකෝ බං මුන් ලොකු ලොකු ඉස්කොල්වලට ගිහින් දැන් මුන්ගේ ගෑස්.

ඇත්තටම මම හිතුවේ DJ මාති සීන් එක දැක්කේ නෑ කියලා බං. මම හිතන් හිටියේ අනේ වාසනාවන් මු සීන් එක දැක්කේ නැනේ කියලා. චික් විතරක්..."

එහෙම කියලා මලියා බේරුනාට තවමත් උට අපෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නෑ. තවමත් හම්බුන ගමන් අහන්නේ " ආ මචෝ අද ඉස්කුල් බස් එක මිස් උනාද? " කියලා.


Monday, May 7, 2012

අපේ සිලේ..





මේ වෙසක් කාලේ අපි ඉස්කෝලේ සිල් ගත්ත හැටි මතක් උනා.අපි එදාටවත් ධාර්මික උනේ නම් නෑ. වෙනදාටත් වඩා ෆන් එකේ තමා හිටියේ. සුදු දිග කලිසම තුන කාලක් වෙන්න නවලා සරම උඩින් ගහගෙන පත්තරයක් බිම එලාගෙන කරේම අජුත වැඩතමා. හැබැයි දවල් වෙන්න වෙන්න එක එකාගේ සරම් ගැලවිලා බෑග්වලට යනවා.
අපේ ඉස්කෝලේ එක පංතියට එක හාමුදුරුවෝ නම ගානේ වැඩම්මවනවා. මම දන්න විදිහට අපේ ඉස්කෝලේ තමා පළවෙනියට ඔය වැඩේ පටන් ගත්තේ. ඒත් කාඩ් එක දා ගත්තේ වෙන අය. මේ ක්‍රමයට අනුව තම තමන්ගේ පන්තිවලට හම්බෙන්නේ සම වයසේම වගේ හාමුදුරුවෝ නමක්.


පන්තියේ උගන්නදීත් නිදි කිරන අපේ එවුන් එදාටත් නිදි කිරන එක අහන්තත් දෙයක්ද? උදේ ධර්ම දේශනාව වෙලාවේ කට්ටිය නිදි කිරන්න පටන් ගන්නවා. එහෙම කට්ටිය ආසම වෙලාව තමා භාවනා කරන වෙලාව. ඒ වෙලාවට කාටත් හොරෙන් නිදි කිරන්න ඕනේ නැනේ. පාඩුවේ බිත්තියක්, කොනක් අල්ල ගෙන හොද ඇලට් එකක් දානවා කට්ටිය. භාවනාව අතර මග පොඩ්ඩක් හොරෙන් ඇහැ ඇරලා බලපුවහම කට්ටිය කට අරගෙන බෙලි කඩාගෙන නිදි නෑ වගේ ඉන්නවා පේනවා. ළග එකාට නින්ද ගියේ නැත්නම් හොදයි. නැත්නම් භාවනාව ඉවර උනාම අතින් ඇනලා නැගිට්ටවන්න එකෙක් නැති වෙනවා.


O/L පන්තියේදී හාමුදුරුවෝ මෛත්‍රී භාවනාව කෙරෙව්වා. වෙනදා වගේම එදත් කට්ටියක් නිදි. සියලු සත්වයන්ට මෛත්‍රී කරලා භාවනාව ඉවර වෙන්න කලින් හාමුදුරුවෝ " නිදා ගත්තා වූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා..." කියලා කිව්වා. අවදානෙන් හිටපු අයට නම් හිනා ගියා. අනිත් අය ටියුබ් ලයිට්.


අපි අන්තිමට සිල් ගත්තේ A/L පන්තියේදී. ( මේක ජිවිතේ ගත්ත අන්තිම සිල් ගැනීම වෙන්නත් පුළුවන්.) වෙනදා   හම්බෙන්නේ ඉන්ටවල් එකට විනාඩි 20 නේ. ඒත් එදා පැයකටත් වැඩිය දානේ ගන්න හම්බුනා. විනාඩි 20 උඩපහල යනකොට ඉවරයිනේ. ඒත් එදා අපිට කරන්න වැඩක් නෑ. ඒ හින්දා කට්ටිය ඇගේ හිරි ඇරෙන්නත් එක්ක කියලා වෙනදා වගේම කොළ බෝලෙයි, ඩේස් එකකින් ගැලව ගත්ත අපේ පරණ බැට් එකෙනුයි බෝල ගැහුවා. මේ එදා පටිගත කළ දර්ශන.....






ආයේ ජීවිතේටවත් සිල් ගන්න වෙයිද දන්නේ නෑ. සිල් ගත්තත් ආයේ මෙහෙම දේවල් නම් කරන්න වෙන්නේ නෑ.


ප/ලි : අපිට යන්න අපායක් හදන්න වෙන්නවා.